ජනතා පරමාධිපත්‍ය බලය සුරකිමින් ජන මතය තුළ සැබෑ ආණ්ඩුකරණයකට ඉඩ ලැබෙන මාවතකට රට යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ දේශපාලනික වශයෙන්ද අරාජිකත්වයක් නිර්මාණය වන පසුබිමකට රට යොමුකල හොත් ඇති විය හැකි විනාශයේ බරපතල ස්වභාවය මේ රටේ සියළුම දේශපාලන බලවේග නිවැරදිව තේරුම් ගත යුතුව ඇතැයි අපි අවධාරණය කරන්නෙමු. එමෙන්ම කුමණ හෝ හේතුන් මත වුවද රට එවැනි ඛේදනීය අගාධයක් කරා තල්ලු නොකරන ලෙස සියළුම පාර්ශවයන් වෙත ආයාචනා කරන්නෙමු.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්රජාතන්ත්රවාදය, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. ශ්‍රී ලංකාවේ අනාගතය සුරක්ෂිත වනු ඇත්තේ ශක්තිමත් ප්රජාතන්ත්රවාදී පාලන සම්ප්රදායක් තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු වූ යහපත් ආණ්ඩුකරණයක් මගින් පමණක් බව විශ්වාස කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. අත්තනෝමතික බලයක් නිර්මාණය කෙරෙන ශ්‍රී ලංකාවට අදාළ වූ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව අඛණ්ඩවම පෙනී සිටිමින් මහජන නියෝජිතයන්ගේ වගවීම හා සක්‍රීය මැදිහත් වීමක් තුළ රාජ්යකරණකට යොමු වන ශක්තිමත් පාර්ලිමේන්තු සම්ප්රදායක් වෙනුවෙන් අප නිරන්තරයෙන් ම පෙනී සිටින්නේ ඒ නිසාය.
එවැනි ස්ථාවරයක පිහිටා කටයුතු කරන අප මහජනතාවගේ පරමාධිපත්‍ය බලය දුර්වල කෙරෙන කුමන හෝ ක්‍රියාමාර්ගයකට කිසිදු සහයක් පළ නොකරන අතර සැබෑ ජනමතය පදනම් කරගත් පාලන ව්‍යුහයක් වෙනුවෙන් සැමවිටම සහය පළකරන්නෙමු. එහිදී දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය ද නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නෙමු. එමෙන්ම රටට අනවශ්‍ය බරක් පටවමින් පළාත් පාලන ආයතනවලට අධික සභික සංඛ්‍යාවක් පත්කර ගන්නා වත්මන් ක්‍රමවේදයට ද කිසිදු එකගත්වයක් පළ නොකරන්නෙමු.
එබැවින් මේ වන විට නිර්මාණය වී ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව නිවැරැදි තක්සේරුවකට යොමුවෙමින් ගොඩනැගෙමින් පවතින අඳුරු ප්රවනතාවයන් තවදුරටත් වර්ධනය නොකිරීම රජයේ ප්‍රධානම වගකීම වන අතර මතුවන එවන් අර්බුද හමුවේ රට අරාජිකත්වයන් කරා තල්ලු නොකිර්රීමට වග බලා ගැනීම විපක්ෂයේ සියළුම දේශපාලන බලවේගයන්හි වගකීමක් ද වනු ඇත.
ඒ අනුව අප රජයෙන් ද අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ වෙතින් ද ඉල්ලා සිටින්නේ රට තුළ නිර්මාණය වෙමින් ඇති සංකීර්ණ අර්බුදය නිවැරදිව තක්සේරු කරමින් පොදු එකගතවයකට එළඹෙමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය නිවැරදිව අභ්‍යාස වන හා ඒ මගින් ප්‍රකාශ වන ජනමතය හරහා යහපත් ආණ්ඩුකරණයකට අවස්ථාව සැලසෙන මැතිවරණයකට කල් නොයවා යොමුවිය යුතු බවය.
Lanka Newsweek © 2026